Wednesday, December 8, 2010

ඩෙංගු මාරයාට තිත. මදුරුවන් පළවාහරින පරිපථයක් නිපදවමු!!

මදුරු කරදරේ ගැන අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ. මම මේ සටහන ලියන අතරතුරෙත් දෙතුන් පාරක්ම මදුරුවෝ රෑනක් කන ලගින්ම පියෑබුවා. (රෑනක් කිවුවට ඉතින් මදුරුවෝ ගමන් යන්නේ තනි තනියෙන්) ඉතින් මේ දවස්වල අපි කථා කරමින් ඉන්නේ 555 අයි.සී. එක ගැනනේ. අද මම විස්තර කරන්න යන්නේ 555 අයි.සී. එක යොදාගෙන අධි සංඛ්‍යාත වර්ධකයක් නිපදවා ගන්නා ආකාරය සම්බන්ධවයි. ඉතින් මේ පරිපථය මේ වෙනකන් අත් හදා බැලුවේ නම් නැහැ. හැබැයි මේ ලිපිය ලියන්න කලින් මම අන්තර්ජාලයෙන් මේ සම්බන්ධව පරීක්ෂා කරද්දී, ඉලෙක්ට්‍රොනික් ෆෝරම්  කිහිපයකම මේ හා සමාන පරිපථ සම්බන්ධයෙන් විවිධ අදහස් ඵල වෙලා තිබෙන බව නම් පෙනී ගියා. එයින් වැඩි හරියක්ම ප්‍රතිඵලදායී බව ඔප්පු කර තිබුණ නිසාවෙන්මයි මේ පර්පථය මෙසේ ඉදිරිපත් කරන්නේ.
555 අධි සංඛ්‍යාත වර්ධකය
පසුගිය ලිපියෙන් ඉදිරිපත් කළ Astable Muiltivibrator පරිපථයම සුළු වෙනස් කම් කීපයකට භාජන කිරීමෙන් මෙම පරිපථය ගොඩ නගා ඇති බව ඔබට පෙනී යනවා ඇති. එසේම මීට කලින් ඉදිරිපත් කල එල්.ඊ.ඩී දෙකක් සහිත මල්ටිවයිබ්‍රේටර් පරිපථය වෙනස් කරගැනීමෙන් වුවද මෙවැනි උපකරණයක් ගොඩ නගා ගත හැකියි. මෙය මගින් කිලෝ හර්ට්ස් 17ත් 24ත් අතර සංඛ්‍යාතයකින් යුත් ශබ්ධ තරංගයනුයි පිට කෙරෙන්නේ. හර්ට්ස් 20-20,000 අතර ශබ්ද තරංගයන් මිනිස් කනට සංවේදී වුවත් මෙයින් පිටකරන ශබ්දය සමහර විට ඔබට නෑසෙන තරම් විය හැකියි. කෙසේ නමුත් මගේ මිත්‍රයකු සතුව මේ හා සමාන උපකරණයක් තිබූ අතර එය යම් තාක් දුරකට මදුරුවන් පළවාහැරවීමට සමර්ථකමක් දැක්වූ නමුත් එයින් පිටවුණ සියුම් ශබ්දය මදුරුවන්ගේ නාදයටම සමාන ඉතා අමිහිරි එකක් වූ වග නම් කිව යුතුය. 

මෙම උපකරණ ඉතාමත් ඵලදායී වන්නේ මෙයින් නිකුත් වන ශබ්දය පිරිමි මදුරුවා නිකුත් කරන ශබ්දයට ආසන්න වූ විට බව විවිධ පරීක්ෂණ සටහන් සාක්ෂි දරනවා. එනමුත් ප්‍රජනන කාල සීමාවේදී පමණක් ගැහැණු මදුරුවා පිරිමි මදුරුවා නිකුත් කරන ශබ්දය ප්‍රිය කරන බවන් එවන් කාල සීමාවන්හීදී ගැහැණු මදුරුවන් මෙම ශබදය නිකුත් කරන දිශාවට ඇදී එන නමුත්  සමස්ථයක් ලෙස ගැහැණු මදුරුවන් මෙම ශබදය එන දිශාවෙන් ප්‍රතිවිරුද්ද අතට ගමන් ගන්නා බවත් හෙළිව තිබෙනවා. එසේම මෙවැනි අධි සංඛ්‍යාතයන්ට බල්ලන්, බළලුන් මෙන්ම වවුලන් වැනි සතුන්ද සංවේදී බැවින් ඔබ මෙම පරිපථය අත් හදාබලන අවස්ථාවන්හීදී එවැනි සතුන්ගේ ක්‍රියාකාරකම් වල වෙනසක් සිදුවේද යන්න පිළිබදවත් විමසිලිමත් වන්න.එසේම ඔබ මෙම පරිපථය ගොඩනැගුවේ නම් එයින් අත්විදි ප්‍රතිඵලය සම්බන්ධව සටහනක් තැබීමටත් අමතක නොකරන්න. 555 හි විවිධ ක්‍රියාකාරකම් සහිත පරිපථ ඉදිරි ලිපි මගින් බලාපොරොත්තුවන්න

0 comments:

Post a Comment