අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
ඉණිමං බඳිනු බැරී
පොළොවයි ඔබ මට තරුවක් විලසට
රෑ කල පතිත වෙමී
ගඟේ වතුර නෑ ඉහළට ගලා ගියේ
අසෙණි හඬින් නෑ කඳු බිම් සසල වුනේ
ගඟ කවදාහෝ මුව දොර හමු වෙනවා
ලොව කැලඹුනු දා කඳු බිම් හැකිලෙනවා
අනාත සයුරට වැහිදිය දෝත ඔබයි
අගාධ අඳුරක දුළ රන් සිළුව ඔබයි
ඔබ මට ලඟ බව ඉඳුරා මම දනිමි
ඔබ වට කහවණු පවුරක මහ දුරකි
පොළොවයි ඔබ මට තරුවක් විලසට
රෑ කල පතිත වෙමී
ගඟේ වතුර නෑ ඉහළට ගලා ගියේ
අසෙණි හඬින් නෑ කඳු බිම් සසල වුනේ
ගඟ කවදාහෝ මුව දොර හමු වෙනවා
ලොව කැලඹුනු දා කඳු බිම් හැකිලෙනවා
අනාත සයුරට වැහිදිය දෝත ඔබයි
අගාධ අඳුරක දුළ රන් සිළුව ඔබයි
ඔබ මට ලඟ බව ඉඳුරා මම දනිමි
ඔබ වට කහවණු පවුරක මහ දුරකි
~"~
ආදරය මත්තේ ලෝකයම තැනීම හෝ නැසීම නොකොට, අහිමි වීම නමැති වේදනාව විඳ දරා ගන්නා, අහිමි කම තේරුම් ගන්නා, ඒ සමග ජීවිතයේ අවබෝධය මුවහත් කරගන්නා , එසේත් නැතිනම් නොගැලපීම් වටහා ගනිමින් සුහදව වෙන් වන්නා වූ පෙම්වතුන් අප අවට සිටීදැයි මම කලින් ලිපියේ ප්‍රශ්න කලා.ඒ ඇසූ පැනයට ලැබුනු බොහෝ පිලිතුරු සොඳුරු ගී අමුණා තිබූ නිසා මට තව සිත් ගත් ගී ගැන ලියන්නට නිමිති ලැබුනා. :)
"ආදරේ අහසයි පොලවයි වගේ. කවම කවදාවත් ලං නොවෙන.. ඈත සිතිජය වගේ හීනෙක විතරක් ලඟට එන.අහස තරම් පළල් ගැඹුරු ඉමක් නැති ඒ හදවතෙන් ඒ ජීවිතයෙන් බිඳිත්තක් කාටත් හොරෙන් රාත්‍රියට මිහි පතිත වෙන තරු එලියක් වගේ ඈ වෙත එනවා.ඉතින් සැනෙහෙන්න ඒ එලියෙන්..
සොබාදහමට එරෙහි වන්නට අපට බැහැ. ගං දිය ඉහලට ගලා නොයන්නා සේ.. අසෙණි හඬට කඳු බිම් සසල නොවන්නා සේ. ඒත් අද ගෙවෙන මේ ජීවිතය පිණි බිඳුවක් සේ හැඩය කාලය පැහැය වෙනස් වෙනවා. ගඟක් මුවදොර හමුව මුහුදට මුසු වන්නා සේ , දෙරණ කැලඹෙන කල්පයකට වතාවක් හෝ කඳු බිම් පවා මිහිදන් වන්නා සේ....සියල්ල එක සැණින් වෙනස්වෙනවා .. ජීවිතය මේ වගේයි...
පිපාසයෙන් පීඩිත සයුරට වැහි දිය දෝතක් මවන අරුම! අන්ධකාර අගාධයක කැලැත්තෙන ජීවිතයට දැල්වුන රන් පහන් සිළුවක් වගේ.. මා ඔබෙන් ඔබ මගෙන් සැනහෙන තරම් දකිද්දී ඔබත් මාත් අතර දුරක් කොයින්ද? නැහැ.. අපි දුරයි.... ඔබ වටේ බැඳුනු ඔය කහවණු පවුර මා කෙසේ තරණය කරන්නද ? මා දුරයි... ඔබ දුරයි...
මේ මා තුන්කල්හිම ඇලුම කරන ගීයක්.මන්ද යත් , ආලයට එරෙහි නොවෙන , ආලයට ආලය පාන,එමෙන්ම ජීවිතය හඳුනාගත්,අහිමිකම හඳුනාගත්, ආදරයට අවබෝධය මුසු වූ බවට ඉඟි කරන ගීයක් යයි මට හිතෙන නිසා....
ගීය අහමුද ?
0 comments:
Post a Comment